කල්‍යාණ මිත්‍රයා යනු..
කල්‍යාණ මිත්‍රයා යනු කවරෙක්ද යන්න දැන් විමසා බලමු. ඉතා සරල ලෙස කීවොත් කල්‍යාණ මිත්‍රයෙකු වන්නේද සත්පුරුෂයෙකුමය. මේ නිසාම මේ පද දෙක, එනම් සත්පුරුෂයා, කල්යාණමිත්රයා යන මේවා එකම අදහසින්ම වුවද යෙදිය හැක. නිවන් දැකීමට අවශ්‍ය අංගයක් වූ සත්පුරුෂ ආශ්‍රය යනු කල්‍යාණ මිත්‍ර ආශ්‍රයමය. නමුත් අනුන්ට කල්‍යාණ මිත්‍රයෙකු වීමට නම්, එම සත්පුරුෂයා කල්‍යාණ මිත්‍රත්වයෙන් යුතුව අනෙකුන්ට උපකාර පිණිස ඉදිරිපත් විය යුතුය.
ඉතා කෙටියෙන් කීවොත් කල්‍යාණ මිත්‍රයා අපට ශීලය රැකීමට, සමාධිය වැඩීමට, ප්‍රඥාව අවධි කිරීමට උපකාර කරයි.
කල්‍යාණ මිත්‍රතාවය
යම් තරුණවූ හෝ බාලවූ හෝ කෙනෙකු ශ්‍රද්ධා, ශීල, ත්‍යාග හා ප්‍රඥා සම්පත්තියන් සමග එක්වී සිටීද, කථා කෙරේද, එබඳු අය අනුව හික්මේද, තමාත් ඒ සත් සම්පත්තිය අනුව ක්‍රියා කෙරේද, ඔහු කල්‍යාණ මිත්‍රයෙකි. (ව්‍යග්ඝපජ්ජ්ජ සූත්‍රය)
කළ්‍යාණ මිත්‍රයෙකු වීම සඳහා වැඩ පිළිවෙලක් ඇත.
- උතුම් වූ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන්හි පිහිටා ඒවා ගැන උනන්දු විය යුතුය.
- ගරු කටයුතු පුද්ගලයෙකු වියයුතුය. ඉහත කී ත්‍රිවිධ ශික්ෂාවේ යෙදෙන විට ඇතිවන සංවරවීම නිසා කාගේත් ප්‍රිය මනාප භාවයට පත්වීමෙන් මෙම ගරු කටයුතු පුද්ගලයෙක් බවට පත්වේ.
- භාවනීය පුද්ගලයෙකු විය යුතුය. ඉහත කී ගුණ දෙක මත ක්‍රියා කරන විට අන්‍යයන්ද මොහුට හදවතින්ම මෛත්‍රී කරති. අනුන්ගේ මෛත්‍රියට ආදරයට භාජනය වන්නා යනු භාවනීය පුද්ගලයාය.
- ගැඹුරු දහම් කරුණු අනුන්ට කියා දීමට කළින් තමා ඒවා ගැන උනන්දු විය යුතුය.
- නොගැලපෙන, නුසුදුසු ස්ථානයන්හිදී තමාගේ වාසිය තකා ශිෂ්‍යයන් නොයොදවන්නෙකු විය යුතුය.(පිට 49-මේ අත්බවයේදීම..., විදර්ශනා භාවනාව, පුජ්‍ය සගචෝ උ.පණ්ඩිතාභිවංශ හිමි.)
පොදුවේ ගත්කළ මෙලොව පරලොව ජීවිත සැපවත් කරන කල්‍යාණ මිත්‍රයා තුල තිබියයුතු ගුණාංග හතක් බුදුදහමේ දැක්වේ.
- මනා හැසිරීමේ රටාවකින් යුත් ප්‍රියමනාප, හික්මුණු පුද්ගලයෙකු වීම.
- ගරු කටයුතු ආදර්ශවත් පෞරුෂයකින් යුක්ත වීම.
- වරද නිවරද මනාව වටහා දීමේ හා නිසි අවවාද දීමේ ශක්තිය.
- ඇසුරු කරන මිතුරු මිතුරියන්ට හොඳින් සවන් යොමුකරන්නෙක් වීම.
- මිතුරා අයහපත් දේ කිරීමෙන් වළක්වා සුමගට යොමු කිරීම.
- දුෂ්කර වූ, ගැටළු සහගත කරුණු වටහා දීම.
- ඉවසීම, තැන්පත් බව හා උපේක්ෂාව.
සූත්‍ර පිටකයේ ඇතුලත් සූත්‍ර රාශියක කල්‍යාණ මිත්‍රයා පිළිබඳව කරුණු මෙසේ දක්වා ඇත.
v "ආනන්දය, යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කලණයන් කෙරෙහි නැමෙන සුළු බවෙක් වේද, මෙය ශාසනයෙහි මුළු බඹසරයි. එවැනි කෙනා අරි අටඟි මඟ වඩන්නේය. එය බහුල කරන්නේය."
v "(බුදුරදුන් වැනි) කලණ මිතුරෙකු නිසා, සත්වයෝ ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝක-පරිදේව-දුක- දොම්නස-දැඩි ආයාසය ආදියෙන් මිදෙත්." (සංයු 5-1-4 පිට, උපවඩ්ඪ සූත්‍රය)
v "මහණෙනි, යම් මේ අරුණ නැගීමක් වේද, උදාවන හිරුට මේ පූර්වඩ්ගමයයි. මේ පෙර නිමිත්තයි. මහණෙනි, එසෙයින්ම යම් කලණ මිතුරන් ඇති බවෙක් වේද, මහණනට අරි අටඟි මඟ ඉපදීමටමේ පූර්වඩ්ගමයයි. පෙර නිමිත්තයි.” (සංයු 5-1-50 පිට, කල්‍යාණමිත්ත සූත්‍රය)
v මහණෙනි, අරි අටඟි මඟ ඉපදීම පිණිස එක් දහමක් බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඒ කවරෙක්ද? මේ කල්‍යාණමිත්‍රත්වයයි." (සංයු 5-1-58 පිට, කල්‍යාණමිත්ත සූත්‍රය)
v "මහණෙනි, යම් දහමක් හේතුකොටගෙන නූපන් අරි අටඟි මඟ උප්දීද, උපන් අරි අටඟි මඟක් වැඩීමෙන් පිරීමට යේද, මේ කල්‍යාණ මිත්‍රත්වය යම් බඳු නම්, එබඳු යම් එක් දහමකදු මම නොම දකිමි." (සංයු 5-1-66 පිට, කල්‍යාණමිත්ත සූත්‍රය)
v "මහණෙනි, කලණ මිතුරන් ඇත්තාහට නූපන්නාවූද කුසල ධර්මයන් උපදිත්. නූපන්නාවූද අකුසල ධර්මයන් පිරිහෙත්" (අංගු.නි.1-26 පිට-ඒකක)
v "කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, විවෘතභාවය පිණිස, අතුරුදන් නොවීම පිණීස හේතුවේ." (අංගු.නි.1-38 පිට-ඒකක)
ඉහත සඳහන් ගුණ ඇති කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා අපට වටිනා ප්‍රතිඵල රාශියක් ලැබේ.
මෙම ප්‍රතිඵල නිසියාකාරව ලබා ගැනීමට නම්, අපද යම් පමණකට සත්පුරුෂයන් බවට පත්වී, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කල යුතුය.
වරක බුදුරජානන් වහන්සේ ආනන්ද ස්වාමීන්වහන්සේට දේශනා කලේ මේ සම්බුද්ධ ශාසනයම රැඳී ඇත්තේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත බවයි. රහත් වන තුරුම අපට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය වේ.
මෙසේ සත්පුරුෂ ගුණ දැන හැඳින ඒවාඅප තුල ඇති කර ගැනීමද, කල්‍යාණ මිත්‍ර ගුණ හැඳින් ඒ අනුව ඔවුන් සොයා ගෙන ආශ්‍රය කිරීමද, අනුන්ට කල්‍යාණ මිත්‍රත්වයෙන් උපකාර කිරීමද අප විසින් කළ යුතුය. එමගින් ඔබට මෙන්ම අනුන්ටද මෙලොව, පරලොව දියුණුව මෙන්ම නිවනද ලබාගැනීමට උපකාර වන්නේය.