Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

මෛත්‍රිය පාරමිතාවක් බව මතක තබාගන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව අප ගැන

අප ගැන

අපේ දැක්ම

සරු දේ සරු ලෙස දකින, තමාගේත් අනුන්ගේත් ජීවිත වලට සතුට, සාමය, සමාදානය සහ සමෘදිය උදාකරන සත්පුරුෂ සමාජයක් අප අතර බිහි කිරීම. 

අපේ මෙහෙය

එවන් සත්පුරුෂ සමාජයක් කරා යාමට අවශ්‍ය අර්ථය, ධර්මය, ප්‍රථිපත්තිය සහ ධෛර්යය සැමට ලබාදීම. 

අප ගැන කෙටියෙන්... 

"සත්පුරුෂ සමාජය අගය කරණ සත්පුරුෂ කල්යාණ මිත්‍ර සංගමය ආරම්භ වූයේ 2010 මැයි මස පිළිවෙතින් යුතුව 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සූදානමක්  ලෙසය.  

අප ඕනෑම පිංකමක් අවසානයේදී "ඉමිනා පුඤ්ඤ කම්මේන" යන ගාථාව කියමින් පතන්නේ නිවන් දකිනා ජාතිය දක්වාම බාලයන්ගේ ආශ්‍රයක් නොලැබ සත්පුරුෂයන්ගේ ආශ්‍රයක් ලැබේවායි කියාය. මෙසේ පැතීමට අමතරව තමාටද සත්පුරුෂයෙකු වීමට සහ කල්‍යාණ මිත්‍රයෙකු වීමට වගකීමක්, නැතිනම් යුතුකමක්, අයිතිවාසිකමක්  තිබෙනවා යයි බොහෝවිට අපි නොසිතමු. නමුත් අපට එසේ වීමට බැරිකමක් නැත. 

යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා ඉතිහාසය තුල වරින් වර ගන්නා ලද උත්සාහයන් රාශියකි. අප පරාධීනව සිටි යුගයේදී පවා ගරු අනගාරික ධර්මපාල තුමා සිංහල බෞද්ධයා දුරාචාරයෙන් ගලවා ගැනීමට මහත් උත්සාහයක් ගත්තේය. එසේම ඉන් අනතුරුව 2500 බුද්ධජයන්තියේදී විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. සිංහල බෞද්ධයෝ වඩාත් ප්‍රතිපත්තියට නැඹුරු වූහ. 

ඉහත කී උසස් අදහස් වලට අනුකූලවූ ධර්මිෂ්ඨ සමාජය පිළිබඳ සංකල්පය 1977 දී මතුවූයේ දේශ්පාලනික අරමුණු පෙරදැරිවය. එමගින් රාජ්‍ය බලය ලැබූවද ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට එම රජයට ඕනෑකමක් තිබුනේ නැත යයි කණගාටුවෙන් වුවද ප්‍රතිඵල දෙස බලන කෙනෙකුට පෙනේ.  

බෞද්ධ ජන හදවත් දිනාගත් සුප්‍රසිද්ධ ධර්ම කථික පූජ්ය ගංගොඩවිල සෝම හිමියන් "පන්සිල් සුරකින සමාජයක් "ඇති කිරීමට උත්සාහ ගත්තේ එමගින් වුවද සමාජය ශිෂ්ඨ කිරීමේ අරමුණින්ය. මේ අදහස් වරින් වර රාජ්‍ය නායකයින් විසින් අවධාරණය කිරීම තුලින් පෙනී යන්නේ ඔවුන්ටද මෙම ප්‍රතිපත්තිය නැතිවම බැරි නිසා විය යුතුය. 

අපේ මවු බිමේ වර්තමාන තත්වය මඳක් විමසමු. "සුභ අනාගතයක්" කරා යාම ශ්‍රී ලංකාවේ පවතින රජයේ අභිප්‍රායයි. තිස් අවුරුදු යුද්ධයක් ජයගත්තද රට තුල ඇත්තේ අනාරක්ෂිත වාතාවරණයකි. අපක්ෂපාතීව සළකා බලන විට රට තුල ඇති මෙම තත්වය ගැන සතුටුවිය නොහැකිය. විනයක්, සංවරයක් ඇති යහපත් සමාජයක් මෙන්ම, බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි වටපිටාවක් අප විසින්ම නිර්මාණය කරගත යුතුය. 

එපමණක් නොව, එම සමාජය තුළ ජීවත් වන පිරිස මෙලොව සහ පරලොව යන දෙලොවම ජය ගත යුතුය. සුභ අනාගතයක් උදා වනේ එවැනි ජයග්‍රහණයක් තුලින්ය. එමනිසා දේශපාලන අරමුණු වලින් තොරව සලකා බලන විට අධර්මිෂ්ඨ, අසත්පුරුෂ, පන්සිල් නොරකින මතින් බමන සමාජයකට සුභ අනාගතයක් උදාකරගත නොහැකි බව ඉතා පැහැදිලිය. 

සත්පුරුෂ ආශ්‍රය ලැබෙන සත්පුරුෂ සමාජයක් අප අවට වේ නම්, මෙලොව පරලොව දියුණුව සහ අවසානයේ නිවනද අපට ලඟා කරගත හැක."සත්පුරුෂ සමාජයක්" අගය කරන අප සංගමයේ උත්සාහය එවන් සත්පුරුෂ සමාජයක් අප අතරින් බිහි කරගැනීමය. මේ නිසා "ඉමිනා පුඤ්ඤ කම්මේන" යන ගාථාව කියමින් එවන් ආශ්‍රයක් ලැබේවායි පතන අතරම, තමාද යම් තරමකින් හෝ එක් සත්පුරුෂයෙකු, එක් කල්‍යාණ මිත්‍රයෙකු වීමට සුදුසුකම් සපුරා ගතයුතුය. 

මෙම වෙබ් අඩවිය ඒ සඳහා මුල් පියවර තබා ඇත. ඔබටද අප සමග එක් වී ඉක්මනින්ම එම සත්පුරුෂ සමාජයට ලඟාවීමට පුළුවන.